Friday, 7 September 2018

ශික් යකෝ

අගමැති රහස් කුරුබිලියෙන් පැනපු නිසා
ජනබල පව්රු  පදනම් බිඳ දැම්ම නිසා
ජයපැන් අවුළුපත් මග දිග තිබුණු නිසා
නොදැනීම මෙහෙම ඩිංගක් මට නින්ද ගියා

සුරබි දෙන ඇවිත් මට ලං වෙනකොටම
උණුසුම් දෙතොල් නළලත තද වෙනකොටම
“පෙරලුන ආණ්ඩුව ගන්නට නැගිටපිය”
කියලා එකෙක් මහා හය්යෙන් කතා කළා

ශික් යකෝ  🤓🤓🤓
මුන් එක්ක ගියොත් ෆැන්ටසි කුඩු


Tuesday, 7 August 2018

ඔබද රහත් මමද රහත් -Let රහතුන්ට fight

ලංකාවට වර්තමානයේ ප්‍රභල  ගැටළු දෙකක් පවතී. එකක් 2020 ජනාධිපති/ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමය. අනෙක් කාරණය සැබෑ රහතන් වහන්සේ තෝරා ගැනීමය. ඒ ගැටළු නිරාකරණය වනතුරු ශ්‍රී ලංකාව රටක් වශයෙන් ඉදිරියට යා දැයි සක සහිතය. එවන් වටපිටාවක මම මේ ලිපිය ලියන්නට අදහස් කලෙමි. අතිශය රාජකාරි බහුල සමයක උවත්, ලෞකික අරමුණු සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් දිවා රැ වෙහෙස වන මේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් කෙනෙක් ලෙස මට ඉතා සීමිත ඉඩකඩක් මේ සඳහා ලැබුනද මම ඒ ඉතා  සුළුමොහොත උපයෝගී කර ගනිමින් මේ අදහස ඔබ වෙත හෙන එමි.

මේ ලිපිය කිසිඳු  ස්වාමින් වහන්සේ නමකට,පුද්ගලයෙකුට පහර ගැසීමේ අරමුණින් නොවන බවත්, කිසිඳු දේශකයාණන් වහන්සේ නමකගේ දේශනා හරි හෝ වැරදි වශයෙන් පෙන්වා දීමට නොවේ. දැනට සමාජ ගත වී ඇති මතවාද මැදට මගේ පශ්චාත් නුතනවාදී ධනවාදී මතවාදයත් ඔබ මත පටවා  ඔබ තව දුරටත් පෙලීම මගේ අරමුණ නොවේ. අපි දැන් මාතෘකා වූ කාරණය විමසා බලමු.

මේ ප්‍රභල ස්වාමින් වහන්සේලා දෙනමක් එකිනෙකා ඉලක්ක කොට ගනිමින් විවිධ ප්‍රචාර කරන, චෝදනා කරන, සමාජ ජාලා වෙබ් අඩවි වල කරනම් ගසන මොහොතක්. අවංකවම  කිවහොත් ඒ ස්වාමින්වහන්සේලා දෙනමගෙන් එක ස්වාමින් වහ්සේ නමක් වත් මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් වාද කරගන්නේ නැත. තමා හමුවට එන පින්වත් පිරිසට තමාගේ මතය ලබාදීම එම දේශකයාණන් වහන්සේලාගේ පිළිවෙතයි. උපුටා ගන්න ලද කොටස් මාධ්‍ය හමුවේ තබමින් යුධ ප්‍රකාශ කරගන්නේ සාමාන්‍ය ජනතාව වන ඔබ අපය.

එක් පිරිසක් බුදුන් උපන්නේ ලංකාවේ  බවත් මාර්ගපල ලබා ගැනීමට බුද්ධ ශක්තිය අවශ්‍ය බවත් පවසන පිරිසක්ය. මේ මතවාදය මට නොගැලපෙන බව තේරුම් ගැනීමට දහම්පාසලේ බාලාංශ පන්ති වලදී මම උගත් ධර්ම කාරනා මට ප්‍රමාණවත්ය.
දෙවන පිරිස මාර්ගපල ලැබීමට මාර්ගපල ලාභී පින්වත් උත්තමයෙකුගෙන් ධර්මය ශ්‍රවනය කල යුතු බවට මතයක් ගෙන යයි. බුදුන් වහන්සේ උන්වහන්සේගෙන් පසු ගුරු තනතුරේ තැබුවේ ධර්ම විනය දෙක නිසා, ඊට අමතරව ධර්ම රත්නයේ ගුණ කියවෙන ගාථාවෙන් පැහැදිලි වන පරිදි, ඔබටම උත්සහා කොට අවබෝධ කර ගත හැකි ලෙස දක්වා තිබෙන නිසා, මේ ප්‍රචාරය මට වැදගත් නැත.
එම පිරිසම, සෝවහන් වීමට භාවනා කල යුතු නැති බවත්, ධර්ම ශ්‍රවනය පමණක්  ප්‍රමාණවත් බවට  මීටපෙර ප්‍රචාරයක් ගෙන ගියහ. අප සාමාන්‍යයෙන්  දන්නා කරුණු: චුල්ල පන්ථක තෙරුන් වහන්සේ ගේ කතාව, කරණිය මෙත්ත සුත්‍රය දේශනා කලේ කුමක් කරමින් සිටි භික්ෂුන් වහසේලා අරභයාද යන්න, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ බුදුන් පිරිනිවී මාස තුනක් යනතුරු රහත් නොවුනේ මන්ද යන්න කාරනා විමසා බැලීම පමණක් ප්‍රමාණවත් බව මගේ හැගීමයි.
තව මතයක් වන්නේ, මේ ලොව වසන සියලු සතුන්ට, නම යෙදුන අකාරය විග්‍රහ කරන දේශනයකි. වාන්දු-රු කල හෙයින් වදුරා, බහ-අළු කල බල්ලා ආදී වශයෙන් කරන දේශනාය. ඒ පින්වත් පිරිසගේ තර්කය මේ භාෂාව, පද නිරුක්තිය නොගනිත්වා අර්ථය ගනිත්වා කියන එකය. එසේ නම් මුලදීම එවන් දෙයක් දේශනා නොකොට  ඉන්න තිබ්බාය  යන්න මගේ අදහසය. අනිත් තර්කය මඳක ලාමක එකක් වියහැකිය. එනම් මේ සතුන්ට නම් යෙදුවේ බුදුන් වහන්සේ හෝ ඒතුමන්ගේ අනුගාමික පින්වත් වෙනත් භික්ෂුන් වහන්සේ නමක් විව්සින් නොවන නිසා එවන් දේ බුද්ධ දර්ශනයට ගැලපීම නොකළ යුතු බවය.
තවත් මෙසේ විවිධ මතධාරී භික්ෂුන් වහන්සේලා සිටිති. එසේ විවිධ මතධාරී භික්ෂුන් වහන්සේලා බුදුරජානන් වහන්සේ ජීවමානව සිටියදී පවා සිය බව විවිධ කතා වල දක්නට ලැබේ.

සරලව කිවහොත්,  මට නම් ත්‍රිපිටකය පරිවර්තනය කලේ වැරදි ආකාරයටද? "සං" යන්න වැරදි ලෙස අර්ථ දක්වා තිබේද? වාන් දුරු කලේ වදුරා ද? යන්න කිසිදු වැදගැම්මකට ඇති කාරනා නොවේ. බුදුන් වහන්සේ අවසන් වතාවටත් පිරිනිවන් මොහොතේ පවා දේශනා කලේ, තෘෂ්ණාව දුරු කර ගන්නා ලෙසය. "තණ්හාය පච්චයා භවෝ" ලෙස දක්වා තිබේ. ලොකු ලොකු පද, අර්ථ දැක්වීම් අවශ්‍ය නැත. මේ සරල කාරණය තේරුම් ගත හැකි උවහොත්  මට ප්‍රමාණවත්ය.

කෙසේ උවත් අනුගාමික පින්වත් පිරිස විවිධ චෝදනා අවලාද මඩ ප්‍රචාරණය කර ගනිමින් සිටිනු දක්නා ලැබේ. මේ පිලිබඳ මට කියන්නට ඇත්තේ, ඉල්ලා සිටින්නට ඇත්තේ මෙයයි.  දෙපිරිසේම පින්වත් දයක පිරිස එක්වී  ඒ පින්වත් ස්වාමින් වහන්සේලා දෙනාම එක මණ්ඩපයකට කැඳවා දෙදෙනාට තමාගේ ධර්ම විනය කාරණා වලින් වාද කර ගැනීමට අවස්ථාවක් උදාකර දෙන ලෙසය. එවිට මේ ගැටළු ඉතා පැහැදිලි අකාරයෙන් විසදෙනු ඇතිය යන්න මගේ අදහසයි.

අවැසි නම් දෙපිරිසටම,  එනම් ඒ ඒ මත අනුගමනය කරන වෙනත් මාර්ගපල ලාභී (රහත් උතුමන්) උතුමන් සම්බන්ධ  කරගත හැකිය. එවිටි සිදුවිය හැකි වටිනාම දේ නම් ඒ දෙදෙනාම රාග ද්වේශ මෝහ සහිත කෙලෙස් දුරු කොට ඇති හෙයින් ඉතා සන්සුන්, හර බර දේශනයක්  බෞද්ධ-අබෞද්ධ ඔබ අප සියලු දෙනාටම දැක ගැනීමේ මහගු අවස්ථාවක් ලැබෙන එකය. ඊට අමතරව මේ දෙදෙනාගේ සහ වෙනත් අයගේ මතවාදයට මැදිවී හතර වරන් වී සිටින අපට යම්කිසි මාර්ගයක් විවෘත වීමය. බුද්ධ දර්ශනය නැවත වරක් ප්‍රභාශ්වර වන එකමය.

එසේ නොකොට තමා හරියයි සිතාගන්නා  භික්ෂුන් වහන්සේ නමකට අරිහතුන් වහන්ස ආදී වශයෙන් ආමන්ත්‍රණය කරමින්, ඊට විරුද්ධ මතධාරී ස්වාමින් වහන්සේලාට, චීවරධාරියා, හොරා, ආදී වශයෙන් අක්‍රෝෂ පරිභවයෙන් ඔබ කරගන්නේ බලවත් අකුසලයක් වියහැකිය. දෙදෙනාම රහතන් වහන්සේලා වීමට හැකි ඉඩ සීමිතය. රහත් උතුමා කවර අයෙකුදැයි ඔබට අපට කිව නොහැකිය. දෙදෙනාම රහත් උත්තමයන් නම් දෙදෙනාම දේශනා කරන දේශනා  එකිනෙකට පරස්පර විය නොහැකිය. සැබෑ රහතන් වහන්සේ කවර ස්වාමින් වහන්සේදැයි අප කිසිවකුට කිව නොහැකිය.

මීට පෙර "අඩෝ මම රහත්" යයි කියා ගත්  භික්ෂුන් වහන්සේ නමක්, මහානායක හාමුදුරුවන්ගේ පා නැමද සමාව ගත්තා ඔබට මතක ඇති බවට සැකයක් නැත.

අවසන් වශයෙන් මම මෙසේ කියමි. let රහතුන්ට fight. අපි බලාගෙන් ඉදිමු.

Tuesday, 24 July 2018

මචං මම චන්දෙ ඉල්ලනවා.

දුෂණය පිටු දකිමි. ඒ සඳහා,

පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරිමි. කැබිනට් මණ්ඩලය අහෝසි.
අමාත්‍යංශ ලේකම්වරු බලාත්මක කරමි.
මෙතෙක් තනතුරු දැරූ සියලු දේශපාලකයන්ගේ වත්කම් පරික්ෂා කරමි.
අයතා ලෙස උපයා ගත ධනය රාජ සන්තක කරමි. දේශපාලකයන් සහ පවුලේ අයට හිමි ව්‍යාපාර රජයට පවරා ගනිමි.
පළාත් සභාහා හෝ ප්‍රාදේශීය සභා යන දෙකෙන් එකක් අහෝසි. බලතල ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් වරු යටතට.
වසර තුනක් වැඩ වර්ජන ජන කෝලාහල තහනම්. සංවිධාකයින්ට දැඩි දඩුවම්, සහභාගී වන්නන්ගේ රැකියා තහනම් කරමි.

ආනයනය විධිමත් කරමි. ඒ සඳහා,

දේශීය නිෂ්පාදනයෙන් පරිපුරන නොවන දේ පමණක් ආනයනය කරමි.
රට තුල නිෂ්පාදනය වන භාණ්ඩ සදහා ආදේශක භාණ්ඩ ආනයනය තහනම්.
ධිවර කර්මාන්තයට අතහිත. ටින් මාළු ආනයනය තහනම්. රට තුල නිෂ්පාදනය අනිවාර්යය කරමි.
කිරිපිටි(ළදරු කිරිපිටි හැර ) ආනයනය තහනම්. දියර කිරි සහ රට තුල නිෂ්පාදනය වන පිටි කිරි ප්‍රවර්ධනය කරමි.
සිනී, ලොකු ළුණු, අල, මුං ඇට, ඉරිඟු සහ සහල් ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය තහනම්. රට තුල නිෂ්පාදනය කරන්නන් සඳහා අත්වැල.
අධි තාක්ෂණික මෙවලම් විනෝද කටයුතු සදහා මිලදී ගැනීම නවතමි. දුරකථන, රුපවාහිනී ආදී විනෝදාශ්වාදය සඳහා මිලදී ගන්නා උපකරණ මෙයට අයත් වේ.
වහාන ආනයනය තහනම්. ත්‍රී රෝද රථ ආනයන තහනම්.
සෙල්ලම් බඩු සුවඳ විලවුන් හඳුන්කුරු, ඉටි පන්දම සහ වෙනත් සැරසිලි  ආදිය ආනයනය තහනම්.
අධාපනය සඳහා අවශ්‍ය උපකරණ ආනයනය කරමි. පැන්සල් පෑන් මකන කෑලි ආදී රට තුල නිෂ්පාදනය වන කිසිඳු දෙයක් ආනයනය තහනම්.

මාධ්‍ය භාවිතය විධිමත් කරමි. ඒ සඳහා,

මාධ්‍ය සඳහා අලුත් නීති.
විකාශන කාලය තුල, මේකප්, කොන්ඩ මෝස්‌තර, ඉවුම් පිහුම්  ආදි වැඩසටහන් තහනම්.
නළුවකුගේ හෝ නිළියකගේ හෝ වෙනත් ප්‍රසිද්ධ පුගලයෙකුගේ ජිවන රටාව, දින චරියාව  අලලා වැඩසටහන් ඉදිරිපත් කිරීම තහනම්.
බාල වර්ගයේ ආනයනය කරන ලද ටෙලි නාට්‍ය මාලා  තහනම්.
ආනයනය සඳහා අවසර ලබා දෙනුයේ අයි එම් ඩී බී ශ්‍රේණි ගත කිරීම් සලකා බැලීමෙන් අනතුරුවය. ඉතා ඉහල මට්ටමේ රුපවාහිනී වැඩසටහන් සඳහා රජයේ අනුබල.
හක් ගෙඩි ඇට මාල, කේන්දර, ගුරුකම්, ආදී සියළු මිත්‍යා මත පැතිරවීම, එසේ පතුරුවන්නන්  මාධ්‍ය හමුවේ පෙනී සිටීම තහනම්. එවැනි මිත්‍යා විශ්වාස සඳහා වෙළඳ ප්‍රචාරය තහනම්.
පොදුවේ වෙළඳ ප්‍රචාරණය විධිමත් කරමි. අසත්‍ය තොරතුරු වෙළඳ ප්‍රචාරයට යොදා ගැනීම තහනම්.

සෞඛ්‍ය සේවය විධිමත් කරමි. ඒ සඳහා,
සෑම රෝහියකුම බෙහෙත් ගන්නා සෑම විටකම රුපියල් සියයක් ගෙවිය යුතුයි. මිල අධික බෙහෙත් නොමිලේ. රුපියල් 500 අඩු බෙහෙත් මිලදී ගත යුතුයි.
වෛද්‍ය සේවකයන්ගේ වැඩ වර්ජන තහනම්. වැටුප් වැඩි කිරීම් සහ වෙනත් ඉල්ලීම් වසර තුනකට තහනම්.
සියලුම රෝගීන් වෛද්‍ය වරයකු යටතේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කරන අතර සියලු දෙනාට පහසුවෙන් ලඟා විය හැකි ස්ථාන වල වෛද්‍ය මධ්‍යස්ථාන පිහිටුවමි.

ආගමික කටයුතු විධිමත් කරමි. ඒ සඳහා,
ආගමික පූජක වරුන්ට සහ පුජ්‍ය පක්ෂය දේශපාලනය තහනම්. අමතර පංති, රැකියා  සහ ව්‍යාපාර තහනම්.
ආගමික ස්ථාන අළුතින් ඉදි කිරීම තහනම්. අළුත් ඉඩම් මිලදී ගැනීම, ඇදා ගැනීම පුළුල් කිරීම තහනම්.
කිසිඳු ආගමක් හෝ ජාතියක් නිරුපනය වන ඇඳුම් ඇදීම (ආගමික පුජකවරයන්ට හැර)  තහනම්.
රජය කිසිඳු ආගමක් මුලික කොට නොසැලකේ.

ජනගහනය හා වෙනත් සමාජීය ගැටළු පාලනය කරමි. ඒ සඳහා,

පවුලකට  සිටිය හැක්කේ  එක් ළමයෙකු පමණි.  අමතර ළමයකු සඳහා වසර 18ක බදු
ජන කණ්ඩායම් වශයෙන් ඒකරාශී වීම වැලක් වීමට නව ඉඩම් පනතක්. සියලු ඉඩම් රජය සතු වන අතර රජය විසින් පවරන පුද්ගලයකුට නඩත්තු කල හැකිය. පැවරීම විකිණීම සහ යුතු පරිභෝජනය තහනම්.
ඉඩම් කට්ටි කිරීම තහනම්.

අධ්‍යාපනය විධිමත කරමි. ඒ සඳහා,

නවය වසරින් පසු අධාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන්.  සාමාන්‍ය පෙළ විභාගයට සමගාමී ව පිළිගත් ඉංග්‍රීසි විභාගයක් (අයි ඊ එල් ටී එස්) අනිවාර්යයි.
උසස් අධ්‍යාපනයට තාක්ෂණික අධ්‍යාපනය. විශ්වවිධ්යාලිය මට්ටමින් සිසුන් බඳවා ගැනීම.
සාමාන්‍ය පෙළ විෂමාලවට පරිෂණක කේත කරණය (ප්‍රෝග්‍රැමින්ග්) අනිවාර්ය විෂයක් කරමි.
විදේශ අධ්‍යාපනික ආයතන අලුතින් පිහිටුවීම තහනම්. සියලු සිසුන් දේශීය අධ්‍යාපන රටාවක් තුලට
පාසල් ගුරු වරුන් සවස 4.30 දක්වා සේවයේ. පාසල් පවත්වන කාලය දීර්ඝ කෙරේ. දිවා සුරැකුම් මධ්‍යස්ථාන පාසල් වලම. නාට්‍ය සහ රංග කලාව, සංගීතය, ක්‍රීඩා,  වැනි විෂයන් අමතරව එකතු කරනු ලබන කාල සීමාව තුලට ඇතුල් කරමි. අළුත් විෂයන් ඇතුලත් කරමි.
උසස් පෙලින් පසු අධ්‍යාපනයට මුදල් රජයෙන් ගෙවන අතර එය නැවත ගෙවීමේ පදනම මත ලබා දෙන ණයක්  වශයෙන් නම් කරමි. ණය  පැහැර  හරින්නන්  දේශීය සහ විදේශීය වශයෙන් අසාධු ලේඛන ගත කරමි.
පුහුණු ශ්‍රමිකයන් විදේශ ගතවීම දිරිමත් කරමි.

නිතිය බලාත්මක කරමි. ඒ සඳහා

ලංකාවටම බලාත්මක වන එක නීතියක්. උඩරට, තෙස්වාලාමි, ෂරියා ආදී නීති තහනම්.
පොලිස් සේවය සඳහා අනිවාර්ය උපාධියක් ලබා දෙමි.
පොලිසියේ ඉහල තනතුරු සඳහා සුදුසු කම් ලැබීමට නීති උපාධියක් අනිවාර්යය කෙරේ.
නඩු පැවරීම සහ නඩු කටයුතු වේගවත් කරමි. සෑම සිර කරුවකුම නඩත්තු වියදම් උපයා ගත යුතු වන අතර එසේ නොවන්නන් සඳහා එම වියදම් ය කර ගැනීමේ ක්‍රමවේදයක්.
සුළු වැරදි සහ ඇප මුදල් දඩ ගෙවා ගත නොහැකි අය  සමාජීය සේවා කටයුතු වලට අනියුක්ත කරමි.

පුද්ගලයන්  කළමනාකරණය කරමි. ඒ සඳහා,

සියලු පුරවැසියන් සඳහා පෞද්ගලික අංකයක් ලබා දෙන එම අංකය යටතේ ඇති ගිණුමකට,  බැංකු ගිණුම්, රියදුරු බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍ර, දුරකථන අංක, බදු ගෙවීම්,  අපරාධ සහ වෙනත් වැරදි ආදී  සියලු තොරතුරු එකතු කෙරේ.

වන සම්පත  සහ ස්වභාදහම සුරකිමි. ඒ සඳහා,

ලංකාවේ වන වැස්ම කිසිඳු හේතුවක් මත එලි කිරීම තහනම්. අලුතින් එලි කල ස්ථාන වලින් ජනයා ඉවත් කොට වනය සුරක්ෂිත කරමි.
කොළඹ සහ වෙනත් නගර වල කුණු කළමනාකරණය අනිවාර්යය කෙරේ. ජීව වායුව නිපද වීම කාබනික පොහොර නිපද වීම අනිවාර්යය කෙරේ. ඊට සමගාමිව කසල වර්ගීකරණය අනිවාර්යය කෙරේ.
පර්චස් 20 වැඩි ඉඩම් වල දිරාපත් වන අපද්‍රව්‍ය රඳවා ගැනීම අනිවාර්යය කෙරේ.

ප්‍රවාහනය සහ මාර්ග තදබදය අවම කරමි. ඒ සඳහා,

කොළඹ නගරය සහ වෙනත් ජනකීරන් නගර තුල නව ඉදිකිරිම තහනම්. ප්‍රධාන නගර තුල ඇතුළු වන රථ වාහන පාලනය කරමි. පොදු  ප්‍රවහානය දියුණු කරමි.
සියලුම බස්, දුම්රිය, සහ වෙනත් මගී ප්‍රවාහන කටයුතු එක් සංස්ථාවක් යටතට.
පෞද්ගලික බස්රථ සංස්ථාවට අයත් වන අතර බස් රථ  හිමියාට කුලී පදනම මත ගෙවීම්.
අලුතින් පෞද්ගලික බස්රථ  සහ වෙනත් මගී ප්‍රවාහන වාහන ආනයනය තහනම්.
මාලබේ සිට කොට්ටාව, මොරටුව, කොළඹ කොටුව, ජා ඇල,කඩවත සිට නැවත මාලඹේ දක්වා දිවෙන  භූගත දුම්රිය පද්දතියක් නිර්මාණය කරමි. එය කලම්බු සර්කල් ලෙස නම් කරමි.

ජන ජීවිතය සහ පවුල් සංස්ථාව විධිමත් කරමි. ඒ සඳහා

ලිංගික අධ්‍යාපනය අනිවාර්යය කෙරේ. විවහා වීමට පෙර හඳුනා ගත සහකරුවකු සහ කාරියක් සමග සමීප ඇසුරට වසර දෙකක් පිරීම  අනිවාර්යය කෙරේ. දික්කසාද වීමේදී ද ඉල්ලීම යොමු කොට වසර දෙකක් සිටිය යුතුයි.
විවාහය හේතු කොට ගෙන පවුල් වලින් දෙන ත්‍යාග තහනම් කරමි. එසේ ත්‍යාග ඉල්ලා සිටීම වරදක් ලෙස නීති ගත කරමි.

සමානාත්මතාවය අගයමි. ඒ සඳහා.
සියලු ආගම පුරවැසියන් එකක් කොට සලකමි. විශේෂිත පුද්ගලයින් කොටසක් වෙන් කිරීම වරදක් ලෙස නීති ගත කරමි. වාහන් පෙළපාලි. ආරක්ෂක රථ රජයේ වියදමින් තහනම්.
අතිශය විශාල වැටුප් ඉපැයීම නවතමි. උපරිම වැටුප  මිලියනය දක්වා අඩු කරමි. අවම වැටුප ඊට සමගාමිව ඉහල දමමි. විදේශිකයන්ගේ සේවා සඳහා මෙය බල නොපැවැත්වේ.


බලශක්ති උත්පාදනය සෑම නිවසකටම. ඒ සඳහා,

සෑම නිවසකම සුර්ය පැනල පද්දති සවි කිරීම දිරිමත් කරන අතර නිවසේ පරිභෝජනයට අවශ්‍ය බල ශක්තිය උත්පාදනය කිරීමට අනුබල දෙමි.

චන්දෙ දීපං. නැත්තම් මේ ටික කරන වෙන එකෙකුට දීපං.

Tuesday, 19 June 2018

ආදරය කියන්නේ

ආදරය කියන්නේ 

හරය - ලවය තේරෙන්නැතුව 
ඒ ලෙවෙල් ඕ ලෙවෙල් හොම්බෙන් ගිය අපිට 
මුල මැද අග තේරෙන්නැති 
තවත්  අළුත් සමීකරණයක් 

චිත්‍ර පංතියේ සංගීත කාමරේ 
තුන්සරණේ බුද්ධගජ්ජේ කියපු අපිට  
හතරවරන් වෙලා යන්න දුන්න  
හතර බීරී  කතාවක් 

උක්තය අඛ්‍යාතය නොදන්නා අපිට 
ආභක්ති -විභක්ති උගන්නන්න ආපු 
ටිචරුත් හොම්බෙන් ගිය 
අමුතු ව්‍යාකරණයක් 

 නේද?


ජෙෆ් 

Monday, 11 June 2018

පොලිටික්ස්

උගත් පිරිසක් යවමු රජ ගෙට කියා පිරිසක් එකට එක්වී
හොයා කොල්ලෙක් ගියා ලඟදී හොදට ගොඩ දා ගත්ත ඩිග්‍රී
"ඉන්න නරි රැල එක්ක පොලිටික්ස් අපෝ මට අරහං නේ මල්ලී
ගත්තා සිටිසන් යනවා යූ එස්" කියා දැම්මා හිනා කින්ඩී

උගත් කම නොව අත්දැකීමට තැනක් දෙන පෙරමුණක හැංගී
ඉන්න සෙට් එක යවමු ඉහලට හොඳට හිමිකර ගත්තු සල්ලී
හිටිය හොඳ ගති සිරිත් ඇති ලොකු නමක් හිමිකර ගත්ත අනගී
පොරක් ඇහුවා "පිස්සු හැදිලද යන්න මට මුන් එක්ක සෙට් වී"

"අළුත් උන් රට කනවා අය්යෝ" පරණ හොඳ නම තියා ගත්තු
එකෙක් යැව්වා එරෙහි වී රට රකින්නට හොරු සමඟ හැප්පී
කලක් යද්දී ඇහුනා හු හඬ රාජගිරියට ලඟා වෙද්දී
අපෝ අර පොර රැලේ පෙරමුණ අරන් එනවා බලා ඉද්දී



ජෙෆ්

Thursday, 3 May 2018

ආණ්ඩුවට පාණ්ඩුව

ආණ්ඩුවට  පාණ්ඩුවලු හෙන   කචල්එක
හෙමින් සැරේ ඔලුවදාලා බැලුවා මම අද
ඇත්ත නේද කියන කතා හරි     මාන්දම
කලින් හිටිය රජා එක්ක බැලුවා ගැලපුම

උසාවියත්   ඔහේ  නිකන්  නැතුවා   වාගේ
පොලිසියත් මෙලෝ රහක් නෑ පෙර වාගේ
එකක් දෙකක්  කෙස්  දාලා ගන්නට ආයේ
පරණ  එකා ගේමු  ආයේ හොදේද   රාලේ

වෙසක් පොසොන් ගානක් නෑ ජනාධිපතිට
මෙලෝ  රහක් නෑ බැලුවම   පී ඩයල්  එක
රුවන්  වැලියේ  ලේසර්   ගහලා   ජරමරය
හෙට උදේට  නිවුස්  බලලා  එයි  කරලියට

ලගදි  ගියා  ලන්ඩන් හරියට  පෙන්දා  වගේ
මතක නැද්ද රජෙක් හිටියා දුටු ගැමුණුලගේ
සීය දෙසීයක් අරගෙන  එරෝප්ලේන්  එකේ
යන්න තිබ්බේ මමයි  රජා වගේ  චූන්  එකේ

ට්‍රාන්ස්ජෙන්ඩර   අරව  මේවා   එල සීන්  ගොඩ
ගෑණු වගේ  ඇඳන්  පිරිමි  දෙන   ලයින්   ගොඩ
ලොක්ක උන්නානම් බැලුවකි ඔය කෙරුම් ටික
අනේ    අම්මප   අපේ  රටට  ගිය   කල     දවස

මෙහෙම එවුන් ඉන්න රටක් හරි  යයිද බොල
ඉහල  ඉඳන්  පහළට  එනකන්  කචල්  ගොඩ
ලොකු තැන්වල ළමයි නෑනේ මරු සීන්  එක
ඒ  මඳිවට  "ගේ"    වාගේ  දෙන  ලයින්  එක

හතේ     පුවත්   විමසුම    සහ  රෑප    වාහිනී
නෑ   වාගේ    බැලු බැල්මට  කව්රුත්  ඒකෙ
උයන  ඒවා  ඇඳුම් කැඩුම් පෙන්නන වෙලේ
රජා අදින  කනබොන හැටි පෙන්නමු ආයේ

ලජ්ජා    නැතුව  පරණ  ඒවා    විවුර්ත    කරලා
නම   ගහනවා    උගේ වගේ    අම්මා    පල්ලා
මේවා බලලා  හිනා වෙන්න කොහෙන්ද මන්දා
අපේ   රජා  එහෙම   කොලාදැයි     කියපල්ලා

එහෙන්  මෙහෙන්   පිකටිං    අස්සට  රිංගවලා
හෙමින්  සැරේ  ඉන්න  එවුන්  කුලප්පු  කරලා
කොනක  ඉඳන්  නෙලමු  හය්ය හත්තිය පාලා
ඔහොම හැකිද රට කරන්න කියපන්  ටොය්යා

හොරු සේරම  ළඟට අරන්    දැනුවත්    කරලා
ආයේ   යවමු    කොමිෂන්  එක නියමිත කරලා
හිරේ   ඉන්න   එවුන්   දාමු   එලියට       බලලා
චුරු චුරු   ගානා   ඈයෝ     සිරගත        කරලා

එකක්   දෙකක්   ඔළුගෙඩි    පළමුකෝ    මාධ්‍යයේ
එහෙන්   මෙහෙන්  උස්සමු   අයෙත් හෙමින් සැරේ
මල්ලි       දාමු      ලේකම්      තනතුරට    රස්සනේ
කොල්ල   යවමු    රොකට්    හදන්නට කොරියාවේ

ජනාධිපති   ආරියාව  කෝ   දැන්    මේකේ
සෙට් කරමුකෝ එන් ජි ඕවක්  අනිත් සැරේ
ලොකු වාහන අරව  මේවා  දීලා එක  සැරේ
ට්‍රැෆික්  ටයිම්   පාරට   බස්සමු     දෝලාවේ

අරලිය   ගහ   ජනාධිපති   මන්දිරේ     ළඟ
සිරා    කෑලි    බස්සවලා     දාමු    ජෝගිය
මාලිගාව    ඉස්සරහම   මකර   තොරණට
එකතු කරමු රජතුමාගේ ෆොටෝග්‍රාෆ් එක

ඉස්කෝලෙට   ගිහින්       පළමු  පිනාගේ   කන
දන  ගස්සමු     අනිත්  පක්ෂේ      ටීචර්ස් ලා ටික
ලොකු කොල්ලට ඉගිල්ලෙන්න ඕනෙම තැනක
අරන්   දෙන්න   මස්ටැංග්   හරි    ලැම්බෝගිනිය

ආමි කොල්ලෝ දාමු කොළඹ ක්ලීනින්ග් වලට
පොලිසියෙන්   යවමු     බලන්නට   යට   ඇඳුම
පන   නැති    ලොම්බෙක්  දාගමු අගමැති කමට
ආයෙත්      දෙමු      හිටපු  රජුට      ආශ්චර්යය

හොරමැරකම්   වලට   සුපිරි  කප්එක  ගත්ත
එවුන් ගෙනත් පත්කරගමු   ඇමති සෙට් එක
ගෑනු   කේස්   අල්ලස්      සහ  දුෂණ    වලට
පුරුදු   එවුන්   ලේකම්  කර   දෙමු ඇමතිලට

හිතෙන  හිතෙන  ඒවා නීති   විදිහට   හදලා 
වාසි නොවෙන  ඒවා පොතින් උදුරලා දාලා
සින්නකර      ඉඩම්     චීන     රජයට    දීලා
සල්ලි   අරන්   රේස්    පදිමු කොළඹ පීරලා

කොලිටි ඇතත් නැතත්  පෝර  අඩුවට    බෙදමු
පෙළපොත් සහ නිල ඇදුමෙන් හොරකම්  කරමු
පව්ලේ   ඉන්න   සෙට්   එක     තානාපති කරමු
බල්ලන්ටත්    ඉන්න   ඒ සී     කාමර        හදමු

තට්ටු ගණන්  ඉහල   ලොකුම    මාලිග  ගහමු
වාඩිවෙන්න   සිංහාසන   ඉම්පෝර්ට්      කරමු
කන්න නැතත් ලොක්කා එක්ක තරගෙට දුවමු
බලු ගැත්තන්   ලෙස   දෙපතුල්  සිඹ සිඹ ඉදිමු
 
දේශපාලුවෝ    රජවරු    කරගත්    හින්දා
වහල්   කමට  පරපුරක්ම  හුරු  උන හින්දා
නිදහස් අදහස්    අපිට  හුරු  නැති     හින්දා
රජෙක් ගේමු   ආණ්ඩුවට පණනැති හින්දා

ජෙෆ් එස් ඩී

Sunday, 18 February 2018

වැතිර මිහිමත යදිමි සැනසුම

ඈත හිමකැට රැදුණු පියසක සිහිල් සීතල ගලාවිත්
ඔබෙන් නික්මී පැමිණ සිරවී සිටින ලෙස මට  රුකුල් දෙත්
සුළං රැල්ලේ රැදුණු සිහිලස කියඹු වැල් පෙළ සිපගනිත්
සෙමින් පියඹා ඇවිත් නළලත හාදු පොකුරක් තබා යෙත්

සිහින් මුව මත ඇදුනු සිනහව සිහිනෙකින් මෙන් පාව විත්
දෙතොල් සිපගෙන  මගේ කොපුලත සිනා රේඛාවක් අදීත්
මලෙක පෙත්තක රැදුණු සිතල සුවද හදවත ගලා විත්
විකල් මනසින් විසල් ලොව තුල සැනෙන් සිරකොට  පලායෙත්

එවිට ඉඟියක් කරනු රිසි නෙත්  ඔබේ නෙත් තුල කිමිදුණි
සදා මිහිමත මිහිරි සුව ඇති ඔබේ සෙවනත සැතපුනි
එසද  සිහිවී පියවි ලෝකය සොයමි සරනක් ඔබගෙනී
සෙමින් පියමැන ඇසිල්ලෙන් ඔබ මගේ හදවත සිපගනී

මිනිස් පහසක් නොලද දුර ගිරි දුර්ගයක මා තනිවෙවී
ඔබේ සිහිලස රැදුණු අසපුව වැතිර සිහිලස විඳගමි
පාලු හිස් නිල් අහස් ගැබ තුල වැතිර සිහිනෙන් පාව යේ
ඔබේ නෙත් තරු දිලී සැනෙකින් මගේ හදවත අවදි වේ

ජෙෆ් එස් ඩී

ශික් යකෝ

අගමැති රහස් කුරුබිලියෙන් පැනපු නිසා ජනබල පව්රු  පදනම් බිඳ දැම්ම නිසා ජයපැන් අවුළුපත් මග දිග තිබුණු නිසා නොදැනීම මෙහෙම ඩිංගක් මට නින්ද ගිය...